දිල්හානිට අරහං වෙච්ච දේවල්

පාසල් යන කාලේ කොහොමද කලාවට තිබ්බ කැමැත්ත?

පොඩි කාලේ ඉඳන්ම මගේ කැමැත්ත තිබ්බේ නැටුම්වලට. මම අවුරුදු 9 ඉඳන්ම නැටුම් හැදෑරුවා. ඒ නිසා පාසල් වේදිකාව එහෙම මට හුරුයි. ඊට පස්සේ ඉතින් නැටුම් වලින් එක එක ආයතනවලට ගියා. කලායතන සර්වෝදය වගේ විවිධ වේදිකාවන් මට විවෘත වුණා. සමස්ත ලංකා තරගවලින් එහෙම ඒ කාලේ හැමදාම අපේ ඉස්කොලේ පළමුවැනියා වෙන්නේ මම. ඉතින් ඒ වගේ පොඩි කාලේ ඉඳලම ලංකාව පුරා වේදිකාවේ ඉඩ කඩ මට ලැබුණා.

 

එතකොට ඒ කාලේ කැමැත්ත තිබ්බේ ලොකු වුණාම කවුරු වෙන්නද?

අන්න එතැන තමා ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඇත්තම කියනවා නම් මගේ හිතේ එහෙම කවදාවත් ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා නම් හිතිලා නැහැ.

 

කවදාවත්ම?

ඔව් කවදාවත්ම නැහැ. ඇත්තටම මම අදත් කල්පනා කරනවා ඇයි මට එහෙම නොහිතුණේ කියලා. නමුත් මම හිතන්නේ මම ඒ ඒ කාලවල ජීවිතය උපරිමයෙන්ම වින්දා. ඒ නිසා වෙන්න ඇති මට එතැනින් එහාට හිතන්න ඕනේ වුණේ නැත්තේ. එහෙමයි ඒ ගැන අද මට හිතෙන්නේ.

 

එතකොට සිනමාවට එන්නේ කොහොමද?

ඒක ඔය මම පාරේ යනවා දැකලා යසපාලිත නානායක්කාර මහතා කතා කරපු නිසානේ. ඒක ඇත්තටම අහම්බයක්.

 

එහෙම කතා කළාම මොකද හිතුණේ?

මුකුත් නැහැ. මම ඉතින් බැහැ කිව්වා.

 

ඇයි ඒ වෙනකොට සිනමා නිර්මාණ බලන්නවත් ආසාවක් කැමැත්තක් තිබ්බේ නැද්ද?

මෙහෙමයි. ගෙදර අය එක්ක ගිහින් ඒ දවස්වල චිත්‍රපට එහෙම බලනවා. නමුත් මම ඒකෙ විශේෂත්වයක් දැක්කේ නැහැ. ඒ වගේම තමා මම පිස්සුවෙන් වගේ චිත්‍රපට බලපු කෙනෙක් නෙවෙයි.

 

ඒ කියනේ නිළියක් වෙන්න ආසාවක් තිබ්බෙත් නැහැ?

අපෝ නැහැ කවදාවත් නිළියක් වෙන්න ආසාවක් තිබ්බේ නැහැ…

 

මුලින් බැහැ කිව්වට පස්සේ හා කියනවා නේද යසපාලිත මහතාගේ චිත්‍රපටයට?

ඔව්, ඊට පස්සේ ලාල් වීරසිංහ අයියාත් කිව්ව නිසා මම ඉතින් ඔන්න ඔහේ ගිහින් බලනවා කියලා හිතලා ගියා යසපාලිත මහතාගේ ගෙදරට. අන්තිමට ඉතින් මාව තේරිලා ‘දේදුන්නෙන් සමනළියක්” කියන චිත්‍රපටයට. ඉතින් ඒක තමා මගේ සිනමාවේ ආරම්භය.

 

කොහොමද ලැබුණ අත්දැකීම?

ඉතින් එතකොට කියන ඒවානේ කරන්නේ. හිනාවෙන්න කිව්වම හිනා වෙනවා. අඬන්න කිව්වම අඬනවා.

 

ගෙදරින් කැමති වුණාද රඟපානවට?

අපේ ගෙදර එහෙම ලොකු කැමැත්තක් හෝ අකමැත්තක් තිබ්බේ නැහැ. ඒක ඒ අයට සාමාන්‍ය දෙයක්…

 

කොහොමද මංගල දර්ශනය?

ආ ඒකට නම් ආසාවෙන් ගියේ. මට මතකයි එදා සන්ධ්‍යා අක්කා මට ලස්සන පාට පාට ගවුමක් මහලා දුන්නා. මොකද ‘දේදුන්නෙන් සමනළියක්” නිසා. මංගල දර්ශනය තිබ්බේ බොරුල්ලේ රිඩ්ස් එකේ හරි ලිඩෝ එකේ හරි. මට ඒක හරියටම මතක නැහැ. ඒත් එදා ඉතින් සෑහෙන පිරිසක් ආවා. එදා ඉතින් එතැන හිටපු අය මගේ චිත්‍රපටය බලනවා මගේ දිහා බලනවා. ඒ නිසා එදා නම් හරි සතුටින් හිටියා.

 

එතැනින් පස්සේ දිගටම නිරමාණ ලැබුණාද?

ඔව්නේ, දිගටම නිර්මාණ ලැබුණා. හැබැයි මම ගොඩක් නිර්මාණ භාර ගත්තේ නැහැ

 

ඇයි ඒ?

මට ඕනේ වුණේ නැහැ ඇත්තටම රඟපාන්න. මොකද මම ටිකක් කම්මැලියි. උදේ පාන්දර නැගිටින්න. මේකප් දාන්න. කොණ්ඩ මෝස්‌තර දාන්න එහෙම. අදටත් මම ඒවාට එච්චර ප්‍රියකෙනෙක් නෙවෙයිම ඒ නිසා තමා මම ගොඩක් නිර්මාණ භාර ගත්තේ නැත්තේ. ඒ දවස්වල නිර්මාණයක් කරන්නේ මේ තමා අන්තිම නිර්මාණය කියලා හිතලා. අපෝ ආයේ නම් යන්නේ නැහැ කියලා තමා ගෙදර එන්නේ. ඒ ආවම ආයේ ඉතින් කවුරු හරි ඇවිත් කතා කළාම මේකට විතරක් එන්නකෝ කියලා ඔන්න ඉතින් ආයේ යනවා. එහෙම ආපු ගමනක් තමා මේ. ඉතින් මම හිතුවේ නම් නැහැ මෙච්චර දුරක් එන්න පුළුවන් වෙයි කියලා.

 

මුලින්ම ඇගයීමක් ලැබෙන්නේ?

මුලින්ම ලැබෙන්නේ නැගී එන නිළියට හිමි සම්මානය. ඒත් ‘දේදුන්නෙන් සමනළියක්” කියන චිත්‍රපටය වෙනුවෙන්. ඊට පස්සේ ජනප්‍රිය නිළිය. හොඳම නිළිය සහ කුසලතා සම්මාන එහෙම ලැබිලා තියෙනවා. මට හැබැයි සහය නිළිය කියන සම්මානය නම් ලැබිලා නැහැ.

 

සිනමාවේ වඩාත්ම ආසාවෙන් කැපවීමෙන් කරපු නිර්මාණය මොකක්ද?

ගොඩක් ඒවා නම් ආසාවෙන් තමා කළේ. මොකද සිනමාවට මම දායක වුණේ කැමැත්තෙන්. අදටත් එහෙමයි මම ටෙලි නිර්මාණවලට වඩා සිනමාවට තමා ප්‍රිය කරන්නේ. මම අන්තිමටම එහෙම ආසාවෙන් කළේ නම් හීන හොයන සමනල්ලු කියන චිත්‍රපටය.

 

ටෙලි නාට්‍යවලටත් දායක වෙනවා නේද?

ඔව් ටෙලිනාට්‍ය කිහිපයකට දායක වෙලා තියෙනවා. තව ඉස්සරහටත් එකක් දෙකක් එන්න තියෙනවා. ඒත් මට හැමවෙලාවෙම හිතෙන්නේ ටෙලි නාට්‍ය කියන්නේ මගේ විෂය නෙවෙයි කියලා. මොකද ඒ හරහා මම සතුටු වෙනවා ද කියන එක සහ මොනවද ලැබුවේ කියන එක ගැන මගේ හිතේ දෙගිඩියාවක් තියෙන්නේ.

 

එතකොට වේදිකාවට?

නැහැ. මම වේදිකාවට සම්බන්ධ වෙලාම නැහැ

 

ඇයි ඒ ආරධනා ලැබුණේ නැද්ද?

ආරධනා නම් එදත් ලැබුණා අදත් ලැබෙනවා. නමුත් මම හිතන්නේ වේදිකාව කියන්නේ උඩින් පල්ලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලොකු කැපවීමක් කරන්න ඕනේ කියන තැන මම ඉන්නේ.

 

එදා සිනමාවේ අද සිනමාවේ ඉන්න අය ගැන මොකද හිතෙන්නේ?

එදා අයට වඩා අද ඇය කාර්යබහුලයි. ඒක තමා මම දකින වෙනස

 

චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හෝ අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?

තුන් හිතකවත් නැහැ

 

නොහිතපු ගමනක්නේ ආවේ අද මොකද හිතෙන්නේ?

ඒකනේ මම කියන්නේ ජීවිතේ කියන්නේ අහඹුවක් කියලා. හිතන්නේ නැති දේවල් තමා ඊළඟ මොහොතේ වෙන්නේ. ඉපදුන දවසේ ඉඳලා මරණය දක්වා කාලය හිතන්නේ නැති දේවල් වලින් පිරිලා තියෙන්නේ. ඒ නිසා ඕකේ ආයේ හිත හිතා ඉන්නවත් දුක් වෙවී ඉන්නවත් දෙයක් නැහැ.

 

එදත් අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැනේ. අදත් එහෙමද?

අදත් නැහැ…

 

 

 

 

Karaliya

Administrator of Karaliya.LK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *