දෙකෝටියක් විතර ජනතාව ටීවි එක දිහා බලාගෙන කූඹිකවාගෙන හමාරයි

හැමෝම කරන්නෙ ඇත්ත වශයෙන් ම ජීවත් වෙන්න දඟලන එක. දඟලනවා කියන්නෙ ඒක ඇත්තට ම පුදුම එකක්. ඒත් වැඩේ තියෙන්නෙ ඒ දැඟලිල්ල ඇත්තෙන් ම දැඟලිල්ලක් වෙන්නෙ පොඩි මිනිහගෙ ජීවිතේ ඇතුලෙ. මොකද ලොකු මිනිහගෙ ජීවිතේ වෙනුවෙනුත් දැඟලන්නෙත් පොඩි මිනිහ ම වෙන එක නිසාම.
කොයි කවුරැත් ජීවිතේ අස්සෙ සල්ලි හෙවිල්ල. ඕකට ඕන තරං කාරණා විධි ක්‍රම ශිල්ප මේ ලංකා කෑල්ල ඇතුලෙ තියෙනවා. වැඩේ තියෙන්නෙ අනික් එකාගෙ සාක්කුවට විදින එකයි කොයි දේනුත් වෙන්නෙ. ඒක එක එක විදියට සිද්ධ වෙනවා. සමහරැ සාක්කුවට විදින විදිල්ල නොදන්නකමින් මහ උජාරැවෙන් පන්තියක් මේන්ටේන් කරනවා. සමහරැ ඒ පන්තිය වෙනුවෙන් ම කඩේ යනවා. ඔය කියන කාරණා සියල්ල මැද හොරෙක් ඩීසන් පිට හොරාකනවා. ඒත් හොරෙක් විදියට හංවඩු ගහලා සමාජය ඉදිරියෙ එල්ලලා මරන්ඩ බැරිවෙන තරමට. මොකද ඒ වැරදිකාරයා හදන්නෙත් ⁣වැරදිකාරයො එල්ලන්ඩ පාරට බහින මේ සමාජෙ ම කියන එක රෙද්දක් ඇඳං පිළිගන්න සිද්ධවෙන තැනට කතාව ගලන නිසා.
අනං මනං වටාරම් අතෑරලා අතන මෙතන සමාජ මාධ්‍යයෙත් රෑපපෙට්ටියෙත් මේ දවස්වල වසංගතයක් වුණ ඒ සතා ගැනයි කතාව. කූඹියෝ. මේ වෙනකොට දෙකෝටියක් විතර ජනතාව ටීවි එක දිහා බලාගෙන කූඹිකවාගෙන හමාරයි. කතාව එතනිං මං අපේ සාක්කුවට හරවනවා.
ජෙහාන් කියන්නෙ උගත් හොරෙක්. උපාධිය මාස් කොම්. මොලේ බ්‍රිලියන්ට්. වැඩේ තියෙන්නෙ කන්තලේ හයේ කණුවෙන් ආපු වැඩ්ඩෙක්. ගේම් ගහන්නෙ මොලෙං. අල්ලන්නෙ නෑ බර අතු. ඒත් බර අතුවලට කෙලවෙන ගේම් ගහන්න ජෙහානුයි පොර. ප්‍රශ්නෙ තියෙන්නෙ හොරෙක් ලාංකේය ප්‍රේක්ෂක සංතානය ඇතුලෙ වීරයෙක් වුනේ කොහොමද කියන එක. කාරණාව සරලයි. ජෙහාන් කතාව කියන්නෙ පීඩිත පන්තියෙ එකාට වෙන සිදුවීම් ගැන. මොලෙං ගේම් නොගහනතාක් අනික් එකාට ආතල් එකක් වෙන්න පීඩිත පන්තියෙ එකාට සිද්ධවෙන එක ගැන. ඒ හන්දා ම ජෙහාන් හැම වේලේම අනික් එකාට තමන්ව ආතල් එකක් කරගන්න නොදෙන්න පරිස්සං වෙනවා.
ප්‍රියන්ත මහඋල්පතගම සැබෑ ගමේ කෙලේලෙක් වෙන්නෙ උගේ තියෙන අවංකකම හන්දා. හැම හොර වැඩකටම කලින් ඌ අහනවා ” ඒ වුනාට අයියෙ මේක හොරකමක්නෙ. නේද?” කියලා. ඒත් ඌට සිද්ධවෙනවා “හොර වැඩක් උනත් චේතනාව මිනී මරණ එක නෙවේනෙ” කියන ජෙහාන්ගෙ තර්කෙට එකඟ වෙන්න. ජීවිතේ කියන දැඟලිල්ල අස්සෙ සල්ලි, කෙල්ලෙක්, වාහනයක් , ලස්සන ගෙයක්, ලස්සන ජීවිතයක් කියන මධ්‍යම පාන්තික ෆැන්ටසික හීන ටිකත් එක්ක නිර්ධන පන්තියේ උන් එල්ලිලා ගන්න ආතල් එක. ඒ හීන දැකිල්ල ම එක විදියක ආතල් එකක් බව හීනියට කනේ පාරකිං ප්‍රියන්ත අපිට පෙන්නලා දෙනවා.
ජෙහාන් කියන කතාව හරි. කවුරැත් කරන්නෙ ආතල් ගැනීමක්. හොඳ ම ආතල් එක ජෙහාන්ට අනුව පන්තියක් මේන්ටේන් කරන සල්ලිකාර නෝනලාට ඉංග්‍රීසියෙං කඩේ යන එක. මිනිස්සු කවුරැත් කරන්නෙ මේන්ටේන් කිරිල්ලක්. තමන් වටේ ඉන්න පිරිසක් මේන්ටේන් කිරිල්ලක්. ඒක දිහා බලන එකත් ඇත්තටම වෙන ම විදියක ආතල් එකක්. . අපි කවුරැත් කරන්නෙ මේන්ටේන් කිරිල්ලක්. ඒ හැමදේම එක්ක ඉගෙන ගත්ත කොල්ලෙක් සමාජක්‍රමේ අස්සෙ ඇත්තට ම ඒකට මූණදෙන්න දෙන ගේම එක දිහා සනීපෙට වාඩිවෙලා කූඹිකවං බලං ඉන්න එක වෙන ම ම ආතල් එකක් වෙලා තියෙන්නෙ මිනිසුන්ට. මොකද තමන්ගෙ පන්තියෙ මිනිහෙක් කරන දේවල් ටික දිහා ඒ වෙලාවෙ මිනිස්සු බලං ඉන්නෙ ඒ තමන් කියන හැඟීමෙන් වෙන්නත් පුලුවන්.
“නළුවෙක් හරි නිළියෙක් චරිතයක් රඟපානකොට ඒ චරිතෙ ඒ නළුවගෙ හරි නිළියගෙ හරි සැබෑ චරිතෙට ඩැමේජ් කරනවා. මොකද දිගු කලක් තමන් නොවන වෙන කෙනෙක්ව චරිතයක් විදියට ආරෑඪ කරගන්න හන්දා. ඒකට ට්‍රිට්මන්ට් නොකලොත් සැබෑ චරිතෙට අර චරිතෙ කොටස් ආරෝප වෙන්න වුණත් බැරි නෑ.”
කූඹියො ගැන කතාකරන්න එක්තරා නාලිකාවකට ආපු කලණ එහෙම කියනවා. කලණ ප්‍රියන්ත මහඋල්පතගම වෙන එක ඇතුලෙ සිද්ධවෙන කතාවෙ මේ ගේන කෑල්ල ඔහු කියන්නෙ මේ අපට. අපි කොච්චර නං හොඳ ගමේ කොල්ලො ද ගමේ කෙල්ලොද? සිස්ටම් එක ඇතුලට ආව ම අපි කවුරැවත් ගමේ කෑල්ල අතාරිනවා. මොකද අපි තේරැං ගන්නවා තව දුරටත් එහෙම ඉන්න ගියොත් ඒ අවංකකම කවුරැ කවුරැත් ආතල් එකට ගන්න බව. ඒත් අපි දැන හරි නොදැන හරි…. කඩේ මුදලාලිට, ඇමතිට මහ ඇමතිට, කොයි කාටත් අපි අපේ ජීවිත ආතල් එකට ගන්න දෙනවා. එක අයවැයකින් තවත් අයවැයකට යද්දිත්, තෙල් මිල අඩු වෙනකොට තෙල් හංගන තැන පෝලිමේ ඉද්දිත්, ආණ්ඩු ක්‍රම වෙනස් වෙනවා කියන අතරෙ ඡන්ද ගුණ්ඩු පාවෙද්දිත් හැම එකක් අස්සෙ අපි එක එකාට ආතල් එකක් වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *