පිරිමැදි ස්වර තත් අත්හැරි ඔහු

හැම හදවත්වල තැනක් ඉතිරි කරපු හැම මනුස්සයෙක්ට ම ලැබිය යුතු වුණු ආදරේ හරි ඇගයීම හරි වටිනාකම හරි හම්බෙන්න නං මියැදෙන්න ම වෙනවා. ජීවත් වෙන කාලෙ ඇතුලත මොන සේවයක් කළත් ලංකාව කියන මේ අති සුන්දර දේශෙ ඇතුළෙ මිනිස්සු කියලා ජාතියක් ඉන්නවා ඒ අය අාන්න එහෙමයි. ඉන්නකං ඒ අය කොයි තරම් වටිනාව ද යුනික් ද කියන එකට රෙස්පෙක්ට් එකක් ලොවෙත් නෑ ඉතිං. එහෙම කරන එකෙන් තමන්ගෙ තත්වෙ බාල වෙයි වගේ එකක තමා ලොකු තැන් නං ඉන්නෙ. එහෙම නැත්තං සමානයෙක්ට හරි අභිබවා ගිය කෙනෙක්ට හරි එහෙම ඉඩක් දෙන්නෙ නැ.
කොහොමින් කොහොම හරි රටට අනන්‍යත්වයක් හදන හදපු මිනිසු එකිනෙකා මේ රට දාලා යන්න ම යනවා,ජීවිතෙන් ම. ඒ වෙනුවට හිස්තැන් පිරවෙන බවක් පේන්නත් නැ. ඒත් ඉන්නකං වගේ ම ඒ මිනිසු ජීවිතෙන් අසරණවෙන තැනක දි ආර්ථික අපහසු තැනකදි හරි එහෙමත් නැත්තං අසනීපෙකදි හරි ඒ අයට හයියක් වෙන්න ඒ අයගේ දේ වලින් සැනසෙන මිනිසු කවුරැවත් නං නෑ. පවුලෙ හයිය ඇතිතාක් මිස. විශේෂයෙන් ලංකාව ඇතුළෙ ක්ෂේත්‍රයක් විදියට කලාව ඇතුළෙ නං තත්වය අතිශය සෝචනීයයි.
වයලීනයට කතාකරන්න පුලුවන් බව කියන්න කෙනෙක්ට පුලුවන් වුණා නං ඒ රැවන් වීරසේකරයන්. රැධිරයේ සීනි මට්ටම වැඩි වීම හේතුවෙන් දෙවසරක කෝමා තත්වයෙන් ජීවිතේ එක්ක පොරබැදපු වයිලීනයට පෙම් බැඳපු ඔහු නොවැම්බර් 28 වෙනිදා ජීවිත වේදිකාව අතැර ගියා. තත් පිරිමැදපු ඔහුගෙ අත්වලට හයියක් හව්හරනක් වෙන්න මේ දෙවසරක දිගු කටුක ජීවිත පිරිමැදුම තුල කාටවත් ම බැරිවුණා.
ලංකාව ඇතුළෙ කලාකාරයෙක්ගෙ ජීවිතේට මෙහෙම අවිනිශ්චිත තත්වෙකට පත්වෙන්න වුණු කිසි ම තැනක දි රාජ්‍ය මට්ටමේ කලා හිතැති අරමුදලක්වත් රක්ෂණයක්වත් නැ. සේවය කියන එක විඳින්න දෙන මේ වගේ වෘත්තීන් දරන මෙරට කලාකාමීන්ගෙ සරැ කාලය තුල මිස නිස්සාර මේ වගේ තත්ව වලදි ජීවිතේ වෙනුවෙන් වැය වෙන්න රාජ්‍ය මට්ටමේ තැන් කම්පාවෙන්නෙ නැ. ඒ අතින් රටේ කලාව තවදුරටත් කලාව වෙනුවෙන්වත් කලාකරැවන් වෙනුවෙන්වත් රටේ උන්නතිය වෙනුවෙන්වත් නං නොවන බව පැහැදිලියි.
සිරස සුපර්ස්ටාර්, ශ්‍රී ලංකන් ලයිෆ් වගේ ම Dell Studio හරහා රටක් තත්මතින් පිරිමැදපු ඔහු දක්ෂ වාදකයෙක් වගේ ම වැඩි කෙනෙක් නොදන්නමුත් දක්ෂ ගායකයෙක්. ඒත් ගායකයෙක් විදියට දක්ෂතාවය ලෝකෙට පෙන්නන්න කලින් ඔහුගෙ හඬ නිහඬකොට ජීවිත ගමන එක්තැන් වුණා.1965 අගෝස්තු 3 ඉපදුණු රැවන් ඉගෙනගත්තෙ මොරටුව වේල්ස් කුමර විදුහලෙන්. කුඩා කල පටන් වයලින් වාදනයෙහි දක්ෂයෙක් වුණු ඔහු තම ගුරැවරයෙකු වුණු තිස්ස ගුණවර්ධනයන්ගෙ නාට්‍ය සඳහා සංගීතය සපයමින් වේදිකාවට පිවිසුණා. ඉන් පසු ඔහු ගුවන් විදුලිය , රෑපවාහිනිය තුලින් සිය දක්ෂතා අනන්‍යතාවය රටට පෙන්වූවා. වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම ඔහු කරන්නෙ රැසියාවෙදි. ඔහුගෙ බිරිඳව මුණගැහෙන්නෙත් එහිදි. ඇය රැසියානු ජාතික කාන්තාවක්. ඔවුන්ගේ දියණිය අංජලා වීරසේකර දැනට විසිපස් වියැති තරැණියක්. ඇය රැසියාවේ පදිංචිව ඉන්නවා. සියල්ල කෙසේ වෙතත් රැවන් මේ වන විට ලංකා පොලෝ තලය මත තැනෙක සදහට ම සැතපිලා. තවත් වයන්නට සත්සර පිරිමැදෙන්නට ඔහු දෑත් වයලිනය මත පිරිමැදෙන්නෙ නැ. රැවන් රැවන් ම මිස තව කොතෙක් වයලිනය මත හිත ගත සුව කරන කවුරැ පැමිණියත් රැවන් එන්නෙ නෑ.
කාලයත් එක්ක ලංකාවෙ කලා ක්ෂේත්‍රයට විවිධ තරැ පායනවා, බැසයනවා කෙටි කලකින් ම. පායන වේගෙ හරි ඉක්මන් නිසා ම. ඒත් සිය දක්ෂකම ජීවිතය කරගෙන අධ්‍යයනය සහ අභ්‍යාසය මතින් ප්‍රශස්තව ගොඩනැඟුණු මෙවැනි කලාකරැවන් පිළිබඳ ඇගයුම මෙන් ම කතාබහ පැමිණිය යුත්තේ ඔවුන් සිය දක්ෂතාවන් හැකියාවන් මතින් රටක් පිනවන මොහොත තුළයි. ඉන් එහා මියැදි කලක වයන ගුණ වැනුම් අසන්නටවත් අසා සැනසෙන්නටවත් ඔවුන් කොහිද?
කලාව හෝ කලාකරැවා රැකගැනීම සහ දිරිදීම එබැවින් කලාකාමී හිත් ඇත්තන්ට ද පැවරෙන මානුෂීය වගකීමක් බව කිව යුතු වන්නේත් ඒ ලකාව විඳීම වගේ ම විඳීම ගේන ජීවිත විඳවන මොහොත තුළ ඔවුන් අත්නොහැරිය යුතු වන බව කිව යුත්තේත් ඒ නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *