මහින්දලා ගෝඨාභයල නාමල්ල ගැන කියන දුමින්ද

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සිය 66 වැනි සංවත්සර උත්සවය පසුගිය සති අන්තයේ කොළඹදී පැවැත්වූයේ පක්‌ෂය බරපතළ අභියෝගයකට මුහුණ පා සිටින අතරතුරයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහින්ද රාජපක්‌ෂ බලවේගය මෙම සංවත්සරයට සහභාගි නොවූ අතර ඔවුන් පසුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් අලුත් පක්‌ෂයේ සංවිධාන වැඩකටයුතු වේගවත් කරමිනි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බලවේග දෙකකට අනාගතයේදී බෙදී යනු ඇති බව දේශපාලන නිරීක්‌ෂකයන්ගේ මතයයි.

මෙම පසුබිමේ සිට අප ශ්‍රීලනිපයේ මහ ලේකම් දුමින්ද දිසානායක හමුවූයේ පක්‍ෂයේ අනාගතය ගැන ඔහු සමඟ කතාබහක නියෑළෙන්නටය.

ප්‍රශ්නය (- පසුගිය සති අන්තයේ කොළඹ කැම්බල් පිටියේ පැවති 66 වැනි සංවත්සර උළෙලට අති විශාල ජනකායක්‌ සහභාගි වේවි යෑයි මත පළ වුණා. ඔබලාගේ ඉලක්‌කගත සහභාගිත්වය සම්පූර්ණ වුණාද….?

පිළිතුර (- ඔව්… නිසැකවම. අපි බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ජන සහභාගිත්වයක්‌ මේ සංවත්සර උත්සවයට සහභාගි වුණා…

ප්‍රශ්නය (- ඉලක්‌ක සම්පූර්ණ කර ගන්නට ශ්‍රීලනිපයට නොහැකි වුණ බව දේශපාලන නිරීක්‌ෂකයෝ මත පළ කරනවා. ඒකාබද්ධ විපක්‌ෂයත් එහෙම කියනවා…

පිළිතුර (- විවේචන කරන්න ඕන කෙනෙක්‌ට පුළුවන්. හැබැයි රටම දැක්‌කා ඇත්තටම මොකක්‌ද වුණේ කියන එක. මෙවර අපේ සංවත්සර උත්සවයේ වේදිකාව බලන්න. එහි සිටියා ලංකාවේ සියලුම පිළිගත් දේශපාලන පක්‌ෂවල නියෝජිතයෝ, නායකයෝ. ඒ වගේම සියලුම දෙමළ පක්‌ෂවල නායකයෝ සහ නියෝජිතයෝ. ඒ වගේම සියලුම මුස්‌ලිම් පක්‌ෂවල නායකයෝ සහ නියෝජිතයෝත් එහි සිටියා.

මේකෙන් රටටම ලොකු පණිවුඩයක්‌ දුන්නා. පුළුල් මහජන සහභාගිත්වයකින් පක්‌ෂයේ ජනතාව ජනාධිපතිතුමා සමඟ ඉන්නවා කියන පණිවුඩය වගේම දෙමළ, මුස්‌ලිම් අනිකුත් සියලු සිංහල බලවේග යන ඔක්‌කොමත් ජනාධිපතිතුමාගේ මේ ගමන අනුමත කරනවා කියන පණිවුඩය රටට දීල තියෙනවා…

ප්‍රශ්නය (- ඔව් ඇමැතිතුමා….ඒකෙන් තව චෝදනාවක්‌ ඒකාබද්ධ විපක්‌ෂය නඟනවා. මේ කැම්බල් පිටියට ඇවිත් හිටපු මහ සෙනගට දෙමළ, මුස්‌ලිම් බලවේග වගේම එක්‌සත් ජාතික පක්‌ෂයේ බලවේගත් ඇතුළත් කියල සමහර විවේචකයෝ කියනවා.

පිළිතුර (- ඒකනේ…කියන අයට එක එක විවේචන කියන්න පුළුවන්. ඒ කතාව වැරදියි. අපේ පක්‌ෂයේ 66 වැනි සංවත්සරයට ආවේ 100% ක්‌ ම ශ්‍රී ලංකා පාක්‌ෂිකයෝ පමණයි. නමුත් වේදිකාවට අපි ආරාධනය කරල තිබුණා මේ රටේ සිටින පිළිගත් පක්‌ෂ 40 ක නියෝජිතයන්ට හා නායකයන්ට. ඒ අය ආවා. ඒකෙන් කියන්නේ නෑ තම පාක්‌ෂිකයෝත් අරන් ඒ අය ආවයි කියන එක.

අපට පිට්‌ටනි පුරවන්න සෙනග පිටින් ගේන්න වුවමනා නෑ. නායකයෝ ආවේ අපට සුබපතන්න. අපිත් එක්‌ක එකතු වෙන්න නොවෙයි…ඒක පැහැදිලිව නිරවුල් කරගන්න…

ප්‍රශ්නය (- ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නිල අයිතිය අද තියෙන්නේ පක්‌ෂයේ නායකයා වන මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට හා නිලධාරීන් වන ඔබතුමන්ලාට. හැබැයි ඔබතුමන්ලා ගන්න තීන්දු තීරණ වලට අදහස්‌ උදහස්‌ වලට විරුද්ධව වැඩකරන පිරිසකුත් ඉන්නවා. මහින්ද රාජපක්‌ෂ මැතිතුමා වටා ඒ පිරිස ගොනුවෙලා…දිගින් දිගටම ඔවුන් පක්‌ෂයේ විනය කඩ කළා. මේ 66 වැනි සංවත්සරයට පවා ආවේ නෑ…කෝ ඔබලාගේ විනය ක්‍රියාමාර්ග මේ ගැන…

පිළිතුර (- ඔබලා දන්නවා දැනටමත් අපි විනය පරීක්‌ෂණයක්‌ සනත් නිශාන්ත මන්ත්‍රීතුමා වෙනුවෙන් පවත්වලා තියෙනවා. විනය කමිටුව විසින් පවත්වන පරීක්‌ෂණයේ වාර්තාව තව නොබෝ දිනකින් මට ලැබේවි. මම එය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරලා අවශ්‍ය පියවර ගන්න සලස්‌වනවා.

ඔබ අහපු දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු තමයි ඒකාබද්ධ විපක්‌ෂය කියල හඳුන්වන ඔය කණ්‌ඩායමේ සියලුම දෙනාට අපි අපේ පක්‌ෂ සංවත්සරයේ ආරාධනා යෑව්වා. යෑවීම අපේ යුතුකම. සහභාගිවීම ඔවුන්ගේ මහත්මා ලක්‌ෂණය හා වගකීම. මොකද මේක තමන්ට ඡන්දය පළ කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ පාක්‌ෂිකයන්ගේ 66 වැනි පක්‌ෂ සමුළුව.

ප්‍රශ්නය (- ආරාධනා කළා. එය හරියට වැලමිටෙන් අල්ලලා කරන ආරාධනයක්‌ වගෙයි කියලයි මහින්ද මහත්තයා කිව්වේ.

පිළිතුර (- හරි…ඒක කිව්වේ මොන වේදිකාවේ ඉඳන්ද. ඒක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ වේදිකාවක්‌ ද නෑ. ඒක වෙන පක්‌ෂයකට අයත් වේදිකාවක්‌. මහින්ද මහත්තයාගේ රූපය ඒ වේදිකාව පිටුපස බැනරයේ එම පක්‌ෂයේ නමත් සමඟම තියෙනවා. එහෙම කර කර මෙහෙම කියන එක සාධාරණ ද කියලා බලන්න. ඒක අනික ශ්‍රී ලංකා කාරයන්ට තේරෙනවා. මෙයා මේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නොවන වෙනත් පක්‌ෂයක සාමාජිකයන් ප්‍රවර්ධනය කරන රැස්‌වීමක කතා කරන බව. එහෙම අයිතියක්‌ වගේම පහසුකමක්‌ ශ්‍රී ල. නි. ප. ව්‍යවස්‌ථාවෙන් කාටවත් දීල තියෙනවද. ශ්‍රී ලංකා එකේ ඉඳන් වෙනත් පක්‌ෂයක සාමාජික ප්‍රවර්ධන කටයුතු කරනවා නම් ඒක නීති විරෝධියිනේ. ඕක ඔයාලා ගිහින් එතුමාගෙන් අහන්න. අහන්න ඔබතුමාගේ පක්‌ෂය මොකක්‌ද කියලා.

ප්‍රශ්නය (- හරි…මහින්ද මහත්මාට ඔබලා යෑව්වාය කියන ආරාධනය පිළිගෙන 66 වැනි සංවත්සර උත්සවයට පැමිණියා නම් හරි කියලද කියන්නේ. එපමණක්‌ පමණක්‌ සෑහේද…

පිළිතුර (- මට ඔබට එකක්‌ කියන්න ඕන. 2015 ජනවාරි 8 වැනිදා මහින්ද මහත්මයා පරාජයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායකත්වය සභාපතිකම වගකීම් ඔක්‌කොම මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බාරදුන්නා. කථානායක නිල නිවසේ වුණ සාකච්ඡාවෙන් පසුව. ඕක මේ රටේ නොදන්න කෙනෙක්‌ ඉන්නවාද. ඒ වගේම අපට කිව්වා මෛත්‍රිපාල මහත්තයා එක්‌ක වැඩකරන්න කියලත්. ඒ වගේම එම නායකත්වය පිළිගෙන පොළොන්නරුවේ තිබුණ සංවත්සර උත්සවයටත් පැමිණියා. පක්‌ෂයට සුබපැතුවා. විධායක සභාවට ලිපියක්‌ එවලා කියනවා දිවිහිමියෙන් පක්‌ෂය සුරකිනවා කියලා.

එහෙම කියපු මහින්ද මහත්මයා අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පරාජය කරවන්න වෙනත් පක්‌ෂයකට ගිහින් වැඩකරනවා. කාටද මේ අසාධාරණය කරන්නේ. මේ රටේ එයාව දෙපාරක්‌ ජනාධිපති කරවපු, මන්ත්‍රී කරවපු, ජයග්‍රහණය කරවපු ශ්‍රී ල. නි. ප. පාක්‌ෂිකයන්ව නොවෙයිද පරාජය කරවන්න හදන්නේ. එතුමා හරිනම් තරහ වෙන්න ඕන මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්‌ක විතරනේ. නමුත් එතුමා ඒ තරහට පක්‌ෂයෙන්නේ පළිගන්න හදන්නේ. පක්‌ෂයටනේ වෛර කරන්නේ. පක්‌ෂයනේ පරාජය කරවන්න හදන්නේ.

ප්‍රශ්නය (- ශ්‍රී ල. නි. ප. පක්‌ෂය පරාද වේවි කියල හිතන්න බෑනේ. මහින්ද මහත්මයාම කියනවා ශ්‍රී ල. නි. ප. එකේ නිලතල තියෙන්නේ මෛත්‍රී ගාව බව ඇත්ත. නමුත් පක්‌ෂයේ සාමාජික ජනතාව ඉන්නේ මගේ ගාව කියලා.

පිළිතුර (- ඔබ කොහොමද එහෙම කියන්නේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ බහුතර ජනතා බලය මහින්ද මහත්මයා ගාව කියලා කියන්න මොකක්‌ද තියන සාධකය.

ප්‍රශ්නය (- නුගේගොඩ ජන රැලිය, කුරුණෑගල ජන රැලිය වගේ ඒකාබද්ධ විපක්‌ෂයේ ජනරැලි වලින් ඒක ඔප්පු වුණානේ. ළඟම නිදර්ශනය තමයි මැයි රැලිය දින ගෝල්ෙෆ්ස්‌ පිට්‌ටනියට ආපු ජනසන්නිපාතය. ඒකෙන් ඔප්පු වෙනවනේ මහින්ද මහත්තයාට තියන ජනප්‍රසාදය. ඒ ආපු මහ සෙනග කන්දරාව ශ්‍රී ල. නි. ප. යේ නොවෙයිද…

පිළිතුර (- එහෙම හිතන එක වැරදියි. මහින්ද මහත්තයා කියන්නේ ජනප්‍රියම නායකයෙක්‌. පුදුම ජනතා ආකර්ෂණයක්‌ ජනතා ආදරයක්‌ තියෙනවා. කොටින්ම මේ අපිත් කැමතියිනේ එතුමාට. මේ රටේ යුද්ධය දිනවලා රට නිදහස්‌ කරගත්ත නායකයා. මිනිස්‌සු කොච්චර ගරු කරනවද. ඒක නිසා එතුමාව බලන්නත් සෙනග එනවා. එතුමා වටේට ඔලුගෙඩි පිරෙනවා. නමුත් එකතුවෙන ඔලුගෙඩි වලින් ඡන්ද දිනන්න පුළුවන් කියලා කාටද කියන්න පුළුවන්. 2015 ජනවාරි 8 වැනිදාට පෙර මහින්ද මහත්තයා වටේ ගොනුවුණු ජනතාව ඔක්‌කොම ඡන්දෙ දුන්නා නම් එතුමා පරදවලා මෛත්‍රිපාල මහත්තයා දිනයිද…..නෑ….ඡන්දය කියන සාධකයට ඔලුගෙඩි අදාළ නෑ. ඔලුගෙඩි වලින් ජයග්‍රහණ මනින්න බෑ. අනිත් එක ජනතාව මුලාවේ දැමීමක්‌නේ කළේ…

ප්‍රශ්නය (- මොකක්‌ද මේ මුලාවේ කතාව…

පිළිතුර (- බලන්න කෝ… ග්‍රවුන්ඩ් එක බුක්‌ කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පක්‌ෂයට. ශබ්ද විකාශන අවසර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. මේ වගේ ඔක්‌කොම දේවල් ටික පොදුජන පෙරමුණ හරහා කරල ඉවරවෙලා මිනිස්‌සු ගෙන්න ගන්න විතරක්‌ මහින්ද මහත්තයාගේ මුහුණ පාවිච්චි කරල ශ්‍රී ලංකා එකේ නම පාවිච්චි කරනවා. මිනිස්‌සුන්ව මුලාවේ දැමීමක්‌නේ කරන්නේ…ඒ වැඩේ හොඳයි ද…. කාවද රවට්‌ටන්නේ. අපි තවම මේ ප්‍රශ්නය ගමේ කතා කරල නෑ. තාමත් අපි උත්සාහ කරනවා මේ ප්‍රශ්නය ගොඩින් බේරාගන්න. අපි ගිහිල්ලා ගමට මේ කතාව කිව්වොත් මොකද වෙන්නේ. මහින්ද මහත්තයාගේ ඔය කියන ජනප්‍රියත්වය දිගටම තියේවිද…ඉතින් අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ පරාද වෙලා නෑ. වුණේa මහින්ද මහත්තයා පරාද වුණ එක විතරයි. එතුමා පැරදුණ වේදනාවට පක්‌ෂයෙන් පළිගන්න එපා කියල අපි යෝජනා කරනවා. කරුණාකර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බෙදන්න එපා.

ප්‍රශ්නය (- මෙහෙම ගිහින් ඉදිරි මැතිවරණයකදී බෙදිල තරග කළොත් නිසැකවම පක්‌ෂය බෙදෙනවා. එහෙම නම් කළ යුත්තේ දෙපාර්ශ්වය එකතුවෙන එක. මේ සඳහා ඔබලාගේ පැත්තෙන් (මෛත්‍රි පාර්ශ්වයෙන්) නිසි එළඹුමක්‌ නෑ කියලයි මහින්ද පාර්ශ්වයෙන් තිබෙන චෝදනාව…ඒ වගේම ඔබලා එජාපය සමඟ එක්‌ව ආණ්‌ඩුවක්‌ කරමින් එකතු වෙන්න කියලා මහින්ද පාර්ශ්වයට කරන යෝජනාව සාධාරණද?

පිළිතුර (- ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාව මේ රටේ ජයග්‍රහණය කරවන්නේ අලුත් වෙනසක්‌ පතාපු සමාජයක්‌ විසින්නේ. මොකක්‌ද ඒ සමාජය පතන අලුත් වෙනස. හොරකම, වංචාව, දූෂණය මේ සමාජයේ නැති වෙන්න ඕන. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන්න ඕන. මේ රටේ නීතිය හැම දෙනාටම පොදුවේ සර්ව සාධාරණව ක්‍රියාත්මක වෙන්න ඕන. මෙන්න මේ කියන කාරණා මතනේ මේ අලුත් බලවේගය එකතු වෙලා මෛත්‍රිපාල ජනාධිපතිතුමා මුල්කරගෙන අලුත් රජයක්‌ හදන්නේ.

ඉතින් දැන් අපි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුවක්‌ හදනවා කියල හදනව නම් හදන්න ඕන අර වෙනස තහවුරු කරන ආණ්‌ඩුවක්‌ ද නැතිනම් අර පෙර තිබුණ වගේ ඔක්‌කොම ශ්‍රී ලංකාකාරයෝ එකතු කරගෙන හදන පරණ පුරුදු ආණ්‌ඩුවමද. හොරකමට, වංචාවට, දූෂණයට චෝදනා ලබපු අයත් එක්‌ක ආණ්‌ඩු හැදුවොත් රටේ ජනතාව ඒ ආණ්‌ඩුව පිළිගනියිද…

අපට ආණ්‌ඩුවක්‌ ඕන කියලා වෙනම හදල හරියන්නේ නෑ. අපි හදන්න ඕන ජනතාව පිළිගන්න, චූදිතයෝ නැති, හොරකම, වංචාව නැති ආණ්‌ඩුවක්‌. ඒaක එක පැත්තක්‌. අනිත් එක කවුද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට එක්‌සත් ජාතික පක්‌ෂය එක්‌ක එකතු වෙලා ආණ්‌ඩු හදන්න පුරුදු පුහුණු කළේ. මහින්ද මහත්තයාමනේ…අර දැත ශක්‌තිමත් කරන්න කියල ආවේ. ඒ නිසා අපි මේ කතා කරන්නේ රට හදන ගමනක්‌ ගැන. පක්‌ෂ වලට, පැරදුන අයට ආණ්‌ඩු හදල දෙන්න යන ගමනක්‌ ගැන නොවෙයි.

ප්‍රශ්නය (- එහෙම නම් ඔබලා හදන්න බලා ඉන්නේ මහින්ද රාජපක්‌ෂ හා ඔහු පිළිබඳ විශ්වාසය තබන අයගෙන් තොර බලවේගයක රජයක්‌…?

පිළිතුර (- මහින්ද මහත්තයා ගැන විශ්වාසය තබනවා කිව්වාම මමත් අයිති වෙනවනේ.

ප්‍රශ්නය (- වැරදි වලට චෝදනා ලබන්නේ රාජපක්‌ෂ පවුලේ අය. එයාලගෙන් තොර ආණ්‌ඩුවක්‌ ගැනද කතා කරන්නේ.

පිළිතුර (- ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පවුලකට අයිති දෙයක්‌ නොවෙයිනේ. අපි කියන්නේ පුද්ගලිකව පිරිසිදු දේශපාලනයක්‌ කරන්න පුළුවන් පිරිසක්‌ තමයි එකට එකතු වෙලා ඉදිරියට යන්න ඕන. හොරු එක්‌ක, වංචාකාරයෝ එක්‌ක, දූෂිතයෝ එක්‌ක රටට වැඩදායක ගමනක්‌ ඉදිරියට යන්න බෑ. හොඳට හිතල බලන්න. 2015 ජනවාරියේදී මහින්ද මහත්තයා කොච්චර ඡන්ද ගත්තද. ඊට පස්‌සේ අගෝස්‌තු 17 වැනිදා කීයද ගත්තේ. ඒ මොකද ජනතාව අපිව ප්‍රතික්‌ෂේප කළේ. මහින්ද මහත්තයා අගමැති කතාව නොකියා එතුමා නොඉල්ලා හිටියා නම් අපට තනි ආණ්‌ඩුවක්‌ හදන්න පුළුවන් විදියට ඡන්ද ගන්න තිබුණා. ජනාධිපතිකමට එපා කියල ජනතාව ප්‍රතික්‌ෂේප කරපු නායකයෙක්‌ අගමැති කරවන්න මිනිස්‌සු ඡන්දෙ දෙයිද…ශ්‍රී ලංකා පාක්‌ෂිකයෝ විතරක්‌ දෙයි. නමුත් ආණ්‌ඩුවක්‌ හදන්න බලපාන මධ්‍යස්‌ථ මතධාරී උගතුන්, බුද්ධිමතුන් සමාජ ක්‍රියාකාරිකයන් මඟින් මෙහෙයවන සමාජ පන්තිය ඡන්දය දෙන්නේ නෑ. ඒ අයගේ ඡන්දය තමයි තීරණාත්මක…අනිත් එක.

ප්‍රශ්නය (- ඔබ බොහොම දැඩි විදියට රාජපක්‌ෂවරු දේශපාලනයෙන් ප්‍රතික්‌ෂේප කරන සටනේ නියෑළී ඉන්න බව පේනවා…

පිළිතුර (- ඒක නොවෙයි…මෙතන තියෙන්නේ පළිගැනීමක්‌. දේශපාලන කුමන්ත්‍රණයක්‌. මහින්ද රාජපක්‌ෂ මහත්තයා වගේ පරිණත දේශපාලනඥයෙක්‌ ඇයි මේක තේරුම් නොගන්නේ කියන ප්‍රශ්නයයි මෙතන තියෙන්නේ… රාජපක්‌ෂ පවුල මඟින්ම අටවපු උගුලක අද ඒ අය හිරවෙලා…

ප්‍රශ්නය (- මොකක්‌ද ඒ කතාව…

පිළිතුර (- මම ඒක කිවයුතුයි. අපි අහනවා බැසිල් රාජපක්‌ෂ මහත්තයා මහින්ද රාජපක්‌ෂවත්, ගෝඨාභය රාජපක්‌ෂවත්, නාමල් රාජපක්‌ෂවත් දේශපාලනිකව එක තැනක හිර කරල ඉවරයි…මෙච්චර කලක්‌ මේ කණ්‌ඩායම හිටියේ ඒකාබද්ධ විපක්‌ෂය විදියටයි. දැන් බැසිල් රාජපක්‌ෂ විසින් මහින්ද ඇතුළු අනෙක්‌ රාජපක්‌ෂවරුන් නීත්‍යානුකූලව වරදකරුවෙක්‌ කරල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට තිබෙන දේශපාලන අයිතිය අහිමි කරවලා තියෙනවා. වෙනත් පක්‌ෂයක වේදිකාවට සාමාජික ප්‍රවර්ධන කටයුතු වලට යොදාගෙන. මේක තේරුණේ නැහැ රාජපක්‌ෂවරුන්ට. මහින්ද මහත්තයාට දේශපාලනිකව ඉදිරි ගමනක්‌ යන්න නීතියෙන් බෑ. 19 වැනි සංශෝධනය මගින්a ඊළඟට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න බැසිල්ට තිබෙන අයිතිය අහිමි වුණා. ඒකෙ පළිය එයා ගන්නේ ඊළඟට ඉදිරියට යන්න ඉන්න අයව වෙනත් උගුලක හිර කරලයි. නිසැකවම මේ හිර කළේ නාමල්ගේ අනාගතය. වෙනත් පක්‌ෂයකට රාජපක්‌ෂවරු හිරකරලා නාමල්ගේ අනාගත දේශපාලන ගමන අගාධයක දැමුවා. කරන්න දෙයක්‌ නෑ. මං දන්නේ නෑ මහින්ද රාජපක්‌ෂ මහත්තයා ඇයි මේ උගුලට අහුවුණේ කියලා.

ප්‍රශ්නය (- මේ දිනවල නැවත යුද අපරාධ ගැන ප්‍රශ්නයක්‌ කරලියට ඇවිත්. දැන් ජගත් ජයසූරිය හිටපු හමුදාපතිවරයාව අන්තර්ජාතික පරීක්‌ෂණයකට ලක්‌කරනවාය කියන කතාව සංවාදයට තුඩුදී තියෙනවා. ඔබතුමන්ලාගේ රජයේ ෆොන්සේකා ඇමැතිතුමා ජගත් ජයසූරියට විරුද්ධව සාක්‌ෂි දෙන්නත් යන්න ලෑස්‌තිවෙලා. ජනාධිපතිතුමා කියනවා කිසිම රණවිරුවකුව යුද අධිකරණ වලට යවන්න ඉඩ දෙන්නේ නෑ කියලා…ඒ අතරේ දේශීය පරීක්‌ෂණයක්‌ සඳහා “ජනාධිපති කොමිෂන් එකක්‌” ගේන්න සැලසුමක්‌ ක්‍රියාත්මක වෙනවා කියන කතාවත් කරලියේ විවාදිතයි…මොකක්‌ද රජයේ ස්‌ථාවරය.

පිළිතුර (- ඔය බොරුවක්‌නේ…මට ඔය ආරංචිය ආපු වෙලාවෙම කතා කළා ජගත් ජයසූරිය මහත්තයාට. එයා කියනවා පසුගිය 27 වැනිදා ඔහු බ්‍රසීලයෙන් පිටත් වුණා. 28 වැනිදා මෙහෙම චෝදනාවක්‌ නැඟිලා තියෙනවා කියලා විදේශ රූපවාහිනී මාධ්‍යයක්‌ හරහා දැනගන්න ලැබුණා කියලා…

මම ඇහුවා ඔබතුමාට නඩුවක්‌ පවරලා තියෙනවද…මොකක්‌ද තත්ත්වය කියලා. එයා කිව්වා අනේ නෑ ඇමැතිතුමා. නඩු පවරලා ද නැද්ද කියලා දන්නේ නෑ. නමුත් නඩු පවරලා වගේ කියලා කිව්වා. ඇත්තටම එතුමාවත් මේක හරියට දන්නේ නෑ. නමුත් අපේ රටේ වෙන වෙන කණ්‌ඩායම් කලබල වෙලා දඟලනවා. අපි දන්නවා අපි සාධාරණ යුද්ධයක්‌ කළා. රට ත්‍රස්‌තවාදයෙන් බේරාගත්තා. ඉන් පරාජයට පත් පාර්ශ්ව වලට යම් යම් වේදනාවන් ඇති. ඒ වේදනාවන් මකාගන්න හෝ පළිගන්න ඔවුන්ටත් යම් යම් සැලසුම් ඇති. ඔවුන් ඒ ගැන ක්‍රියාකරනවා වෙන්න පුළුවන්. එහෙම දේවල් වලට අපි ඇයි කලබල වෙන්නේ.

ප්‍රශ්නය (- ෆොන්සේකා රජයේ ඇමැතිවරයෙක්‌. ඔහු හිටපු හමුදාපතිවරයෙක්‌. එතුමා තමයි කලබලයෙන් දුවන්න හදන්නේ රටට විරුද්ධව සාක්‌ෂි දෙන්න.

පිළිතුර (- අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා…මේ රටේ සාමය වෙනුවෙන් සටන් කරපු එකම සොල්දාදුවකුටවත් අසාධාරණයක්‌ වෙන්න මම ඉඩදෙන්නේ නෑ කියලා කිව්වා. මේක මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවනේ. ඒ වුණාට තව කට්‌ටියක්‌ ඉන්නවනේ. ආමි සම්පත් කියනවා, නේවි සම්පත් කියනවා, එස්‌. එෆ්. බණ්‌ඩා කියල කියනවා. මේ කාලයේ යුද්ධය වෙනුවෙන් රටට යම් සේවයක්‌ කළ අය තමයි. හැබැයි ඒ මෙහෙවරට පස්‌සේ මෙයාලා කළේ පාතාල ලෝකයට සම්බන්ධ ක්‍රියාකාරකම් නම් මෙයාලා තවදුරටත් රණවිරුවෝ ලේබලයෙන් රකින්න අපට අයිතියක්‌ නෑ.

එහෙම අය ගැන නීතිය බලාගනීවි. අපි මේ කරුණු දෙක වෙන වෙනම ගන්න වෙනවා. ෆොන්සේකා මහත්තයා වුණත් කලබල වෙලා වැඩියි. මමත් එතුමාට කිව්වා කලබල වෙලා අදහස්‌ දක්‌වන්න යන්න එපා. මේක අපි කරපු සාධාරණ යුද්ධයට හොඳ නෑ කියලා. ජනාධිපතිතුමාගේත් මතය ඒකයි. රටේ අනාගතය ආරක්‌ෂාව අභිවෘද්ධිය ගැන කටයුතු කරනවා මිසක්‌ පුද්ගලික කේන්තියන් පිරිමහගන්න යන එක නරකයි.

Karaliya

Administrator of Karaliya.LK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *